පොතපතට , විභාග වලට, පුංචි විරාමයක් තියලා, යොවුන් අපේ හිත් වල කැකෑරෙන රැඩිකල් අදහස්, වින්දනීය දස්කම් කල එළියට බහින , කොළොම්පුරේ වෙද පියසේ සොඳුරුතම හෝරා කිහිපය තමයි 'නින්නාද'.
වසරක් වසරක් පාසා පැවැත්වෙන නැටුම් ගැයුම් වැයුම් රැඟුම් වලින් වර්ණවත් වෙන මේ මියුරු හැන්දෑවේ 2015 වසරේ හිමිකාරයන් තමයි 2010 අපේ උසස් පෙළ කණ්ඩායම.
ඇත්තටම මේක විවිධ ප්රසංගයක් පමණක් ම නෙවෙයි. ඊට හුඟාක් එහා ගිය ළබැඳියාවක් සහෝදරත්වයක් වගේම 'අරුතක්', 'නින්නාද' ඇතුලෙ සැඟවිලා තියෙනවා.
විභාග පිට විභාග තිබුණත් තමන්ගෙ බැච් එකේ නින්නාදෙ හොඳම නින්නාදෙ වෙනවා දකින්නයි හැමෝම කැමති.මොකද බැච් එකක් විදිහට බැච් එකේ දස්කම්, හැකියාවන් වගේම දුර්වලකම් වලත් පිළිබිඹුවක් තමයි 'නින්නාද' කියන්නේ.ඉතින් හැමෝම උත්සහ කරන්නේ දුර්වලකම්, අසාර්ථක තැන් අවම කරගෙන තමන්ගෙ බැච් එකේ නම රැක ගන්නයි.
මේක වචනෙකින් දෙකකින් කියනවා වගේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙලා සැලසුම් කරලා කරන්න ඕන දෙයක්. හැබැයි ඉතින් හැමෝම එකතු වෙලා කරද්දි අමාරු දේකුත් නෙවෙයි. අන්න එතැනට, ඒ කියන්නේ බැච් එකක් විදිහට කොච්චර සාර්ථකද බලන්න තියෙන කඩ ඉමක් වගේ තමයි අපේ 'නින්නාදෙ' කියන්නේ.
මැදින් මහේ BMICH එකේ පැවැත්වෙන දහයෙ අපේ නින්නාදෙ වැඩ මේ වෙනකොටත් පටන් අරන්. කට්ටිය ලහි ලහියේ දැන් ඉඳන්ම ලකලෑස්ති වෙන්නේ ජීවිත කාලයටම අමතක නොවෙන වින්දනීය සොඳුරු මතකයක් අපි කාගෙත් හිත් වලට එකතු කරන්නයි.
ඒ වින්දනීය ඉසව්වට යන ගමනේ ලැබෙන සියදහසක් වූ අත්දැකීම් වල රසබර තැන් අපි ඉදිරි ලිපි වලින් කියවමු...
-මීදුම-