Friday

"තවත් එක් කට්ටක් නොවන, රස කට්ටක්"



ඕන්න එකමත් කාලයක ,එක්දහස් නවසිය අනූ ගණන් වල වගේ, කිටී පවුලකට කිටියෙක් ඉපදුනා.
කිටී ඉපදුනු දවසේ ඉදන් කිටි අම්මගේ කිරි බීලා , හැඩි දැඩි වෙලා මොන්ටසෝරි යන්න පටන් ගත්තා
ඊට පස්සේ එකේ ඉදන් එකොළහ වසර වෙනකන් කිටියා කිටීගේ සිඟිති ලෝකයේ  ජීවත් වුනා
ඒ අස්සේ නොතේරෙන සිස්සත්වයටත් ලිව්වා, ඒක මේ කිටියනම් පේල් වුනා, ඒ වුනාට තව කට්ටියක් පට්ටෙටම පාස් වුනා
ඊට පස්සේ කරපු දේවල් මතක් වෙද්දි කිටීට හෙන හිනා... හා හා හා
( ජීවිතේටම කියලා පට්ට යාලුවෝ සෙට් එකක් සෙට් වෙච්ච කාලේ...)
කිටියා හිටපු හැටියට, කුණු බැණුම් අහගෙන, කොහොමහරි කරලා අන්තිමට හෙන ගේමක් දීලා සාපෙත් පාස් වුනා

ඉතින් ඊට පස්සේ...
ඊට පස්සේ කිටී "භය"ලොජි ස්ට්‍රීම් එක ‍තෝර ගත්තා පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් හින්ද...
වෙද නලාව කර වටේ දාගෙන පට්ට කාර් එකක ආතල් ලයිෆ් එකක් සෙට් කරගන්න තිබ්බ ආසව බන්…

ඔන්න ඉතින් ඒකට කියලා කිටී හෙන ක‍ටු ගොඩාක් කෑවා... ඉස්කෝලේ ගියා, අමතර ටියුෂන් ක්ලාස් ගියා.. සමහර දවස් වල පාරේ බස් තිබ්බෙත් නැහැ රෑ වෙනකොට.. බස් එක තිබ්බත් යන්නේ ෆුට් බෝඩ් එකේ... ඉතින් ගෙදර යද්දී ඉතින් හෙන හතේ ගහලා වගේ මැරිලා... සමහර දවස් වලට ගෙදර එද්දී කන්න තිබුනේ රෝස් කරපු පාන් බාගයයි, ප්ලේන් ටී එකයි... ඒත් වෙද නලාවට තිබ්බ ආසාව හින්ද මහ රෑ වෙනකම් පාඩම් කරලා හෙන ගේමක් දීලා කොළඹ මෙඩිකල් ෆැකල්ටියට පූරුවෙ කරපු පිනකට තේරුනා...

ඔන්න ඉතින් හීනෙන් භාගයක් හරි... ඉතින් ෂෝයි කියලා ෆැකල්ටි එකටත් ආවා... අම්මේ !!! පලවෙනි දවසේ කට්ටියව දකිද්දී සුර ලෝකෙට කිටී ආව කියල තමයි හිතුනේ.. ෂා අක්කලාව දකිද්දී තවත් ආස හිතුනා.. හෙ හෙ ( කව්ද හිතුවේ මේක තවත් ක‍ටු ගොඩක ආරම්භයක් කියල)

කොහොම හරි කරලා ඔන්න ඔතනදී...
ඔන්න ඔතනදී තමයි දහයේ උඹලා සෙට් වුනේ..
අපි ඊට පස්සේ පූස් විභාග ලියලා IBSS, module exams ලියලා Fresher’s කරලා.. කරපු දේවල් ඔක්කොම මතක් කරන්න ඕනේ නැහැනේ... ආහ් සු.ලෝ ඒ ගැන හොදට බ්ලොග් එකේ ලියලා තියෙනවනේ
ආහ් කට්ටිය එක එක සීන් වලදී ඇණ ගත්ත අවස්ථා අනන්තයි අප්‍රමාණයි ස්වල්පයයි නොදැක්කට...
අඩේ ඔන්න ෆැකල්ටි ජීවිතේ අවුරුදු තුනකුත් ඉවරයි... අවුරුදු 3ක්ම ඉවරයි..
කොච්චර ක‍ටු කෑවත්, ඒවා මහ රහයි ඕයි  "මගේ ලයිෆ් එක පුල් මාර්වලොස් " හරියටම ගප්පියා කියනව වගේ... ලොල්
ඉතින් දැන් කස්ටිය හිතෙනවා ඇති ඇයි මේ කිටී "කිටීගේ කතාව" ගෙන හැර පාන්නේ කියලා...

ඒ මොකද...

අපි හැමෝටම අපේම කියලා කතාවක් තියෙනවාඒත් අන්තිමට අපිට මතක් වෙන්න කියලා ඉතිරි වෙන්නේ අපි මේ කාලේ කරන කරපු දේවල්...
තව අවුරුදු 2යි මචන් වැඩිම වුනොත් 3යි... අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා, ඒවා ඔක්කොම අමතක කරලා දාලා ඕන් ආතල් එකක් ගන්න තවත් මරේ මරු අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ...
ඉතින්,
දැන් අපි හැමෝම කාපු ක‍ටු, කන ක‍ටු සහ කන්න තියෙන ක‍ටු ගැන හිතාගෙනම පොඩි කට්ටක් කමු, අපේ ගත සිත පින වන්න
"නින්නාද"
අපි අපේ දහයේ නින්නාදේ අපේ ජීවිතයේ සොදුරු මතක ගොන්නට තවත් එක් සුන්දර මතකයක් කරගමු.
ඒකටත් සෙට් එකම තවත් එක් කට්ටක් නොවන, රස කට්ටක් කමු  හොදේ...
                                                                   -කිටී-

Monday

හෙලෝ ? කවුරුත් ඉන්නවද ?





හෙලෝ ? කවුරුත් ඉන්නවද ?

Blog එක හැල හොල්මනක් නැති නිසා ඔන්න මේ ජීවිතේට මෙව්ව ලියල නැති මටත් ලියන්න හිතුන මොනව හරි.

කට්ටිය හෝ හෝ ගාල වැඩ පටන් අරගෙන. එහෙන් නටනව. මෙහෙන් සින්දු කියනව. (සද්දෙ පොඩ්ඩක් අඩු කරොත් හොදයි කියල කියනව ඉතින්) ඇඩෙනවා කට්ටියගේ talents දැක්කම. ඒවට විතරක් නෙමේ, ඕනෑම අගුලක් විවෘත කිරීමේ හැකියාවෙන් කෙල පැමිණිල ඉන්න අය පවා දහයේ ඉන්නව කියල ලඟදී තමයි දැනගත්තේ. ඔය අස්සෙ හවසට හවසට canteen එක උඩ හරියෙ ලොවම පිලිගත් උපාධියක් දෙන පාඨමාලාවක් යනව කියලත් NEWS එකක් එනව. පින්සලක්, රිජිෆෝම් කෑල්ලක්, වැලි කඩදහියක් එහෙම අල්ලල තියන සහ නැති උදවිය පැත්තෙ ගියොත් ඔන්න මොනව හරි කරගන්න පුළුවන් වෙයි.

අරගොල්ලො මෙහෙම ගියා.. අපි ඊට වඩා ලොකු එකක් යමු. අපේ කට්ටිය ට්‍රිප් යන්නෙ මෙහෙමලු ඉතින්. කමක් නෑ ඉතින්, එහෙම හරි ඒ වගේ දේකට හිතක් පහල වෙන එක. ට්‍රිප් එක ගියාට වැඩක් නෑ, අර අගලෙයි මේ අගලෙයි හැම තැනම එක එක තාලෙට පොටෝ ටිකක් ගත්තෙ නැත්නම්. ඒවත් DSLR එකකින් වගේ ගත්තොත් පන්කාදුයි. හැබැයි ඉතින් කිසි ගතියක් නෑ selfies ගොඩකුත් ගන්නකන්. අන්න එහෙම කැමරා කාචයක සටහන් වෙලා තිබ්බ, මොකක්ද පිරිමි අවයවයකට සම්බන්ධ ගහක් උස්සන්න යන සිද්ධියක්. Fund Raising කරන්න කියල නිකන් මොකටද හිරේ යන්නෙ, පන වුනත් දෙන ජාතියේ මිනිස්සු ටිකක් ඉන්නවනෙ කියල, ගහපියකො පෑනක්.


උස මහත තාත්තල වගේ කොල්ලො අපේ batch එකේ වැඩිය නෑ කියන එක හැමෝම දන්න දෙයක්. ( එහෙම වුනා කියල අපේ ගෑනු ටික පොඩි බැච් වල හෙන කඳයන්ට සෙම හල හල හූල්ලල හරියනවද? ) ඉතින් මේ ප්‍රියමනාප කස්ටිය දෙන දෙයක් මිනිස්සු නොගෙන ඉදීද ? 10යේ මෙඩ්ඩෝ ටික පහුගිය ටිකේ උගුරු කඩාගෙන අව්වේ කට්ට කකා විස්ස විස්ස එකතු කරපු හැටි රටම දැක්ක. විකුනපු විකිනිල්ලට,  අනික් ෆැකල්ටි වල අපි වගේම, ගෙදරට වෙලා අලයක් බාගෙන පාඩුවෙ ඉන් නැතුව Book Fair එකට ඇවිත් එක එක ඒව විකුනපු අය අකුලගෙන ගියාලු ඉතින්. අපේ අරාබියේ සහෝදරයට මිනිස්සු ප්‍රසන්සා පවා කරා කියල සවනට වැකුන මගෙ. Uniform ඇඳගත්ත අය ඇවිත් අපිව එලියට දැම්මත්, පොලිසියෙන් කචල් දැම්මත්, අපේ සුපිරි සෙට් එක දැනට දවස් තුනට පෑන් 5000 කට වඩා වික්ක. ඉස්සරහට තව වැඩි වෙයි. තවත් පස් දෙනෙක් මාතර පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් එන ගමන් පෑන් බර ගානකට වග කිව්ව. හයේ හතරෙ බයියල දෙකට නැමිල SORRY AIYE කියාගෙන යන ගානට පෑන් වික්කෙ කළුතර පැත්තෙනෙ. ඒ අවටම අපේම සුපිරි  බුවෙක් තනියෙන් ගෙදර වටේ පෑන් 300 කට ලඟ ගානක් වික්ක කියන්නෙ පුදුම ආඩම්බරේකින්. ඉරිදා ආවෙ නැති කට්ටියට ඉතින් අපේ ආදරණීය අම්මා කෙනෙක්ගෙ අයිස් ක්‍රීම් පාටිය මිස් වුනා. මේ සති අන්තෙනම් ක්‍රමානුකූලව ආපු අපෙ කට්ටිය අඩු වුනා. ඉස්සරහට එහෙම නොවෙන්න කියල පඩුරක් වත් ගැට ගහන්න යන්න ඕනේ පන්සල පැත්තෙ.

කට්ටිය ගේමට සෙට් වෙන්න. මට බ්ලොග් ලියන්න පුළුවන් නම් ඉතින් නින්නාදෙ අපිට ලොවෙත් ලස්සනට කෙරුවහැකි. අර කතාවකුත් තියෙන්නෙ හිත ඇත්නම් මොකක්ද එක කුඩාද කියල. ආයිත් kick එකක් ආවම මොනව හරි කුරුටු ගාන්නම්.

-සු.ලී.-

Tuesday

පෙරවදනක්

පොතපතට , විභාග වලට, පුංචි විරාමයක් තියලා, යොවුන් අපේ හිත් වල කැකෑරෙන ‍රැඩිකල් අදහස්, වින්දනීය දස්කම් කල එළියට බහින , කොළොම්පුරේ වෙද පියසේ සොඳුරුතම හෝරා කිහිපය තමයි 'නින්නාද'.
 

වසරක් වසරක් පාසා පැවැත්වෙන නැ‍ටුම් ගැයුම් වැයුම් ‍රැඟුම් වලින් වර්ණවත් වෙන මේ මියුරු හැන්දෑවේ 2015 වසරේ හිමිකාරයන් තමයි 2010 අපේ උසස් පෙළ කණ්ඩායම.
 

ඇත්තටම මේක විවිධ ප්‍රසංගයක් පමණක් ම නෙවෙයි. ඊට හුඟාක් එහා ගිය ළබැඳියාවක් සහෝදරත්වයක් වගේම 'අරුතක්', 'නින්නාද' ඇතුලෙ සැඟවිලා තියෙනවා.
 

විභාග පිට විභාග තිබුණත් තමන්ගෙ බැච් එකේ නින්නාදෙ හොඳම නින්නාදෙ වෙනවා දකින්නයි හැමෝම කැමති.මොකද බැච් එකක් විදිහට බැච් එකේ දස්කම්, හැකියාවන් වගේම දුර්වලකම් වලත් පිළිබිඹුවක් තමයි 'නින්නාද' කියන්නේ.ඉතින් හැමෝම උත්සහ කරන්නේ දුර්වලකම්, අසාර්ථක තැන් අවම කරගෙන තමන්ගෙ බැච් එකේ නම ‍රැක ගන්නයි.
 

මේක වචනෙකින් දෙකකින් කියනවා වගේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙලා සැලසුම් කරලා කරන්න ඕන දෙයක්. හැබැයි ඉතින් හැමෝම එකතු වෙලා කරද්දි අමාරු දේකුත් නෙවෙයි. අන්න එතැනට, ඒ කියන්නේ බැච් එකක් විදිහට කොච්චර සාර්ථකද බලන්න තියෙන කඩ ඉමක් වගේ තමයි අපේ 'නින්නාදෙ' කියන්නේ.
 

මැදින් මහේ BMICH එකේ පැවැත්වෙන දහයෙ අපේ නින්නාදෙ වැඩ මේ වෙනකොටත් පටන් අරන්. කට්ටිය ලහි ලහියේ දැන් ඉඳන්ම ලකලෑස්ති වෙන්නේ ජීවිත කාලයටම අමතක නොවෙන වින්දනීය සොඳුරු මතකයක් අපි කාගෙත් හිත් වලට එකතු කරන්නයි.
 

ඒ වින්දනීය ඉසව්වට යන ගමනේ ලැබෙන සියදහසක් වූ අත්දැකීම් වල රසබර තැන් අපි ඉදිරි ලිපි වලින් කියවමු...
                                                                                        -මීදුම-